Thursday, 28 November 2024

ආලෝක වර්ෂ

 




ආලෝක වර්ෂ


"මැරෙන්න මොහොතක් තියල හරි මම උඹව මරනව තිරිසණා "

විසි හත් හැවිරිදි යුවතිය නැවතත් සිහින වලට ඇවිදින් ඇත. ජනිත් ගේ මතකයන් අවුරුදු තිහක අතීතයකට දිව යයි. ඒ අසරණ දෑස් තවමත් ඔහුගේ රාත්‍රී සිහින වල හඬයි. සිරගෙයෙහි සිටින විටද, දැන් ඉන් පිටත පැමිනි විටද  ඒ මතක ඔහු සිත පාරවයි.

***

මධුෂිකා තමා අත ඇති ලිපිය දෙස බැලුවාය. එහි ජීවිතය ගැන සටහනක් වෙයි. එක්කෝ සැත්කම කළ යුතුය, නො එසේ නම්  අවසන් කැමැත්ත ලිවිය යුතුය. මෑතක සිට අශාන් ඇයව මග හරියි.එය සිතට මහ බරකි.
ඇයට ලොකු පුතා සහ පොඩි පුතා සිහි වෙයි.
ඕ ලොකු පුතාට ප්‍රේම කළාය. එහෙත් ඔහුගේ පියාට ප්‍රේම නොකළාය. පොඩි පුතාට ද ප්‍රේම කළාය. ඊටත් වැඩියෙන් පොඩි පුතාගේ පියාට ප්‍රේම කළාය. අශාන් පුතුන් දෙදෙනාගේම මවට ප්‍රේමය පෑවේය. ඔහුගේ විසල් හදවත ඇගේ ජීවිතයට ජීවය දී තිබිණි.

එබැවින් ඈ මෑතක සිට අශාන්ගේ නොසලකා හැරිම් වලට සිත් රිදවා ගත්තාය.
පර්‍යේෂණ නිබන්ධන ලියනා විට ලැබෙනා තේ කෝප්පය නැති වෙත්දී, දවල්ට ඉවූ කෑම රසයැයි නොකියද්දී මෙන්ම නළලට රාත්‍රියේ දෙන හාදුව ඔහුට අමතක වෙත් දී ඕ සැලුණාය.

එහෙත් එසේ දුක සිතීම රෝගයේ  ලක්ෂණයක් යැයි සිත හදාගත්තාය.

ඉස්සර කාලයේ ඔහු නිතරම තමා අසල සිට කියවයි. ඒ බොහෝ දේ වල තිබුණේ තාරකා ය. ඔරායන් ගේ ආදර කතාවක් ඔහු පවසන්නේ ආලෝක වර්ෂ දහස් ගණනක් මෙපිටින් සිටය.
කුමක්දෝ ජංගම දුරකතන යෙදුමකින්  ඇයටද සජීවී ව ඒ තරුරටා පෙන්වන ඔහු, ඇයට තරුරටා පිළිබඳ නිබන්ධනයක් ලියන්නට යැයි යෝජනා කළේ ය. ඈ එය ලියන්නට පටන් ගෙන තිබුණාය.

එහෙත් අතරමැද නතර වූ නිබන්ධනයේ දූවිලි බැඳෙන්නට ආසන්නව තිබුණේය. එය ඇවිස්සීමට ඈ අකමැති වූයේ සෙම්ප්‍රතිශ්‍යාව සෑදේ යැයි සිතුණු බැවිණි.එය ඇගේ කාර්‍යාලයේ තබා තිබිණි.

මධුෂිකා සුසුමක් හෙළුවාය. ජීවිතයෙන් වසර පනස් හතක් ගෙවුණු තැනද, ඈ තරුණියකගේ පෙනුමෙන් යුතු වූවාය. එය හට අශාන් පෙම් කළ නිසාම ඇය පෙනුම ගැන තුටු වූවාය.

කඳුලක් ඉබේ ගිලිහෙන විට මෝටර් රථයෙන් බැසි ඕ නිස්කලංක කුඩා අවන්හලට ගොඩ වූවාය.

කෝපි කෝප්පය ලැබුණු පසු එහි තිත්ත රසය සෙමෙන් සෙමෙන් රසවිඳිමින් සිටි ඈ අසල ලෙදර් සපත්තු දෙකක් නැවතිනි. ඕ හිස ඔසවා බැලුවාය.

"මධුෂිකා !"

ඔහු බලාපොරොත්තු වූයේ ඇගේ සැලීමකි. එහෙත් ඒ සැලීම බලාපොරොත්තු වූ වෙලාව මෙන් දශම බින්දුවයි බින්දුවයි එකක කාලයක් හෝ නොපැවතීම නිසාවෙන් ඔහු සැලුනේය.

ගත වූ විනාඩි දෙකක කාලය නිසාවෙන් ඔහුගේ හිත ඔත්පල ව තිබිණි.

මධුෂිකා නිවසට ගොඩ වන විටම ඇගේ කණට දැනුනේ දරුණු සංවේදනයකි. ඒ අශාන්ගේ අතක් බව ඇයට නොවැටහුණා නොවේ. එහෙත් ඇය නැවත ඔහු දෙස බලා අසීරුවෙන් දෑස් විවර කර ගත්තාය.

"එක එකා එක්ක තැනින් තැන  ගිහින් එන්ඩ මෙතන කෝලං මඩුවක්ද උඹට මධුෂිකා ?"

ඒ හඬ ප්‍රේමාන්විත නැත. බෑගයේ ඇති ලියවිල්ල වැටෙන්නට නොදී ඈ අපහසුවෙන් සාලයේ පුටුවක් මත අසුන් ගත්තාය. ලියන අවස්ථා වලදී නොදැනෙන අමාරුකම් ඇයට දැනෙයි.එය ලෙඩේ හැටියකි.

එහෙත් සුළු මොහොතකින් ඇය නැවත බිමට ඇද වැටුණාය. ලොකු පුතා ද අශාන් අසළ සිටිනු දුටු ඈ අසරණ බැල්මක් හෙලුවාය.

"මම හිතුවෙ නෑ අම්මෙ ඔයා මෙහෙම ගෑනියෙක් කියල. අම්ම කියන නාමෙටත් අගෞරවයක් ඔයා නං."

මධුෂිකා ඒ කියූ හරුපය කුමක්දැයි අසන්නට මෙන් අශාන් දෙස බැලුවාය

"නදීමා කෝල් කරල කියද්දි මම හිතුවෙ ගෑණි ඊරිසියාවට කියනව කියල. අන්තිමට බලනකොට ඒක බොරුවක් නෙවේ. මේ ගෑණි දැං ඉස්සර හොරෙන් නටපුව එලිපිටම නටනව. "

අශාන්ගේ කෝපයට ඇතුළතින් වේදනාව ඇති වග වටහාගත් මධුෂිකා වදන් ඇමිණුවාය

"මම මුකුත් කලේ නෑ ශාන්.නදී මගෙන් පළි ගන්නව මම හොයා ගත්ත නිසා "

ඇගේ හඬේ වූ අසනීප ගතිය අශාන් ට හෝ ලොකු පුතාට නොදැනුනේ කෝපය නිසාවෙනි.

"ඔයා මුකුත් නොකළා නං මමයි පොඩියි තාත්තල දෙන්නෙක්ගෙ වෙන්නෙත් නෑ. මාව ජාතක කරපු මිනිහ එක්ක ඔයා අද වෙනකං හොරෙං මගුල් නටන්නෙත් නෑනෙ නේද අම්මෙ ? නදීමා ඇන්ටි මොනාට ඊරිසිය කරන්නද ඔයාට ?"

ලොකු පුතාගේ වදන් හී සැර මෙන් දැනුනු කල ඈ පොඩි පුතා ව මතක් කළාය. ඔහු විශ්ව විද්‍යාලයේය.

" පලයං මෙහෙං ගිහිං ඌ එක්කම පවුල් කාපං. මගෙ දෑහැට නොපෙනී ම පලයං මධුෂිකා ආයෙ නොකිව්ව කියන්නෙපා. මගෙ දරුවො මට වැඩි නෑ යකෝ උඹ ට මාව මදි උනාට."

අශාන් ගේ කෝපය සෝඩා බෝතලයක් නොවන වග මධුෂිකා දැන සිටියාය. ඔහු නිකරුණේ කේන්ති නොගන්නා මිනිසෙකි.

මධුෂිකාට ප්‍රති පිළිතුරු සපයන්නට අවස්ථාවක් නොවන වග පිය පුතු දෙපළගේ මුහුණින් සන් වන විට , ඈ මරුටි රථයේ ම නැගී පිට වූවාය.

යන්නට ගමනාන්තයක් නොතිබුණද ඈ අම්මා ගේ සොහොන අභියසට ගියාය.අනතුරුව මුහුදු වෙරළට ගිය ඈ ගැටලුවේ පැටලිලි විසඳාගන්නට තීරණය කළාය.
නදීමා !
ඇයට සරදම් සිනහවක් නැගිණි
සිය තාරකා නිබන්ධනය සොරකම් කර තිබුණේ නදීමා ය. එය හසුවූ මොහොතේ වරද ඇගේ නොවන අයුරින් හැසිරුණ ඇගේ වුවමනාව පැහැදිලිය. දින ගණනාවක් ක්‍රියාත්මක වුණු නදීමාගේ ඉලක්කය සැපිරී තිබිණි. ඊතලය ගොදුරේ හදවත පසාරු කොට ගොස් තිබුණේය.

අශාන් සහ ලොකු පුතා තවමත් ගැහැනුන්ගේ ඊර්ෂ්‍යාව පිළිබඳව නොදන්නා එක ගැන මධුෂිකා කම්පා වූවාය. මන්දයත් ඈ එවැනි ගැහැනියක නොවූ බැවිණි. එවිට වරද තමාගේය. තමා පැහැදිලි චරිතයක් නොවූ වග ඈ දැන හුන්නාය.
කැඩුණු ගැහැනියක වු දා පටන් අශාන් ඈ අසළ රැඳී සිටි නමුත් , ඇයට නම නොදන්නා බියක් තිබිණි. අශාන් වැනි යහපත් මිනිසෙකුට දුකක් දෙන්නට නොහැකි තැන ඇය ඒ බිය සැඟවූවාය.
ජනිත්ගේ රකුසු මුහුණ මැවෙන විට ඇයට ඇය ද අහිමි වූ අයුරු සිහියට නැගෙයි.
කෙසේ නමුත් ජීවිතයට තවත් ඇත්තේ දින කිහිපයක් පමණකි. එබැවින් ලොකු පුතා අශාන්ගේ පස ගැනීම ගැන ඈ සොම්නසින් පසු වූවාය.
ජනිත්ගේ දෑසින් කඳුලක් වැටිණි. ඔහු අශාන් දෙසට පා තැබුවේය. අශාන්ගේ වත කඩදාසියක් මෙන් සුදුමැලිව තිබුණේය. අවසන් වරට ඈ දකින විට ඇගේ වතෙහි අසරණ කඳුලක් වූ නමුත් මේ මොහොතේ එවැන්නක් හෝ නොවිණි.
ඇගේ මහගෙදර අවසන් කටයුතු කරන්නට යැයි ඈ ඉල්ලා තිබුණාය. ඒ සඳහා අක්කාට මුදලක්ද බැර කොට තිබිණි. සිරුර අම්මා හා තාත්තා අසළ භූමදානය කරන්නට ද ඉල්ලා තිබිණි.

ලොකු පුතා හට ඈ යමක් වැඩියෙන් දී තිබුණාය. අශාන් ට හා පොඩි පුතාට සම සමව ඇගේ වත්කම් පැවරී තිබිණි.
අපේක්ෂා රෝහළට ද , අක්කාටද වත්කමෙන් තවත් කොටසක් දී තිබිණි.

අශාන් වූයේ සිතාගත නොහැකි කම්පනයකිනි
ඕ ප්‍රීතිමත් ගැහැනියකව උන්නාය.
එහෙත් නදීමා නම් ඇගේ මිතුරිය නිසාවෙන් ඇගේ සතුටට හේතුව නම නොදන්නා ආගන්තුකයකු සතුව ඇතැයි සැකයක් ඇතිවන්නට ඇරඹි දින කිහිපයෙන් පසුව ඈ ඇදී යනු ඔහු පසෙකට වී බලා සිටියේය.

එය ට හේතුව හෘදයේ අසනීපයක් වගද, පොඩි පුතා ගේ උපතෙන් පසුව කඩින් කඩ ඇයට විශාදය තිබූ බවද ඔහුට අළුත් කාරණා වූයේය.
'ස්ට්‍රෙස්' යැයි පවසමින් ඈ බෙහෙත් ගත්තේ එයට විය යුතුයැයි ඔහුගේ සිත අනුමාන කරමින් සිටියේය.

" මම දන්නව මට කවුරුත් සමාව නොදෙන බව. මම අවුරුදු තිහකට පස්සෙ අච්චු ඉවර වෙලා එළියට ආවෙ. මට මධුෂිකා එදා  මුල්ම දවසෙ,මම එයාව විනාස කලාම කිව්ව , එයා මැරෙන්න මොහොතක් හරි තියල මරනව කියල . ඒක එයා කළා."

අශාන්ගේ දෑස් ජනිත් දෙසට යොමු විණි

"අවුරුදු තිහක් ?"

ලොකු පුතාගේ දෑස් විසල් ව තිබිණි. අශාන් නම්  අන්දමන්දව සිටියා පමණි.
පොඩි පුතා කිසිවක් නොදැන, අම්මා අසළ හඬමින් සිටියේය. අම්මාගේ කඳුළු මිමිණුම් ඇසුණු එකම ජීවියා ඔහු වූ බැවින් ඔහුගේ වේදනාව ඔහු හඬමින් පිට කළේය.

"මට පඩිසන් දුන්න පව. එදාට පස්සෙ දවසෙ  මම කුඩු එක්ක මාට්ටු උනා. තිහක් අච්චු "

නදීමා සිරගෙයක් ගැන වදනක් හෝ පැවසුවාදැයි මතකයක් නගා ගන්නට අශාන් උත්සාහ කළේය.
ජනිත් ගැන ද මධුෂිකා ගේ අතීතය ගැනද නදීමා දැන සිටි බව අශාන් නොදැන උන්නේය.

නදීමා ගේ පර්‍යේෂණ නිබන්දනය, එවර අන්තර්ජාතික සම්මානයක් දිනා තිබිණි. එහි වූයේ තරුරටා පිළිබඳවය.

මධුෂිකා ගේ මතකයේ වූ අශාන්, පොඩි පුතා ගෙන ඇවිත් තිබූ ඒ නිබන්ධනය කියවන්නට ගත්තේය.
"ඔරායන්ගේ ප්‍රේම කතාව "
අශාන් ගේ දෑස් විසල් විණි.
හෘදයට රිදුමක් පමණක් දැනෙන විට, එක් රැයෙක ඔරායන්ගේ ප්‍රේම කතාව අසමින් තමාට හාදුවක් දුන් මධුෂිකාව ඔහුට සිහි විය.



 ©Malshi N Fernando 

No comments:

Post a Comment

මෙලින්සා

  මෙලින්සා • ඒක වැස්ස දවසක්. වැස්සට මම ආස නැති හේතු එකයි. ඒක තමා කුඩේ ඉහළගෙන යන්න වෙන එක. කොයි තරං අව්වක් තිබ්බත් කුඩයක් ඉහළගෙන යන්නැති මට, ...