Saturday, 30 November 2024

මෙලින්සා

 


මෙලින්සා •


ඒක වැස්ස දවසක්. වැස්සට මම ආස නැති හේතු එකයි. ඒක තමා කුඩේ ඉහළගෙන යන්න වෙන එක. කොයි තරං අව්වක් තිබ්බත් කුඩයක් ඉහළගෙන යන්නැති මට, ඒ දවසට අනිවාරෙන් කුඩේ ඉහළං යන්න සිද්ද වෙන එක ගැන මගේ හිතේ තිබ්බෙ නොරිස්සුමක්. වැස්ස දිහා බලාගෙන පොළොවෙන් එන මඩ ගඳට එකතුවෙලා තියෙන අනික් ජාති මොනාද කියල අනුමාන කර කර යනකොට එක්පාරම කවුරු හරි මගෙ කුඩෙන් ඇද්දා. ඒ එයා හම්බුණ මුල්ම දවස. 


එයා තමයි මෙලින්සා. මෙලින්සා අපේ ඉස්කෝලෙට ආවෙ  දහය වසරෙදි. මෙලින්සා කියන්නෙ කිරි සුදක් එක්ක බළල් ඇස් තියෙන දණහිස ගාවටම  දිග කැරළි කොණ්ඩයක් තියෙන තරමක් උස ගෑනු ළමයෙක්. මෙලින්සා තමා ඊට පස්සෙ සෙක්ෂන් එකේ ලස්සනම ගෑණු ලමයා උනේ. 


මෙලින්සගෙ ඇස් කියන්නෙ ලස්සනම ඇස්. ඒ ඇස් වලට වහ නොවැටුණු කො ල්ලෙක් ඒ කාලෙ ඉස්කෝලෙ හොයාගන්න එක ලේසි උනේ නෑ.


 කෙල්ලො මෙලින්සට ඊරිසියා කළේ ඒක හිංදමයි. 

ඒ හිංදම මෙලින්සට යාලුවෙක් ඇති කරගන්න මාස දෙකක් විතර ගියා. එයා ආවට පස්සෙ පළෙව්නි වැස්ස දවසෙ තමයි ඒක උනේ. එයා මගෙ කුඩෙන් ඇදල මගෙ කුඩේ යටට ආවා. 


"නිපූ! මාව බස් හෝල්ට් එකට දානවද?"


මෙලින්සා ඇහුවෙ අහිංසක විදියට. අර බූට් දාගත්තු පූසගෙ තාලෙට ඇස් හදාගත්තු මට වඩා උස ආඩම්බර කෙල්ලට බෑ කියන්න හිතුනෙ නෑ මට. එයා මගෙ දෙවෙනි නම දැනගත්තෙ කොහොමද කියන එක මම කවදවත් ඇහුවෙ නෑ. 

මෙලින්සයි මමයි හොඳ යාලුවො උනේ ඊට පස්සෙ. මෙලින්සා කියන්නෙ දඟකාර කෙ ල්ලක්. එයා කලින් ගිහින් තිබ්බෙ ඉංග්‍රීසියෙන් උගන්වන ජාත්‍යන්තර ඉස්කෝලෙකට. එයා ආපු වාරෙ ඉඳන් ඉස්කෝලෙන් යනකම්ම මෙලින්සා තමා අපේ පන්තියෙ පළවෙනියා. 


මෙලින්සා එකොළහ වසරෙදි වගේ අපේ ගෙදරත් එන්න පටන් ගත්තේ අපි දෙන්නගෙ යාළුකම එන්න එන්නම ළං වුණ හින්දා. ජීවිතේට උවමනාවෙන් ගාණක් හදපු නැති මම ගණං හදන්න පටන් ගත්තෙත් ඒ කාලෙ. අපේ ගෙදර මිනිස්සු සෑහෙන්න සතුටු වුණා මගේ ලකුණු වල පැහැදිලි වැඩි වීමක් වුණ නිසා. ඒ හැම එකක්ම වෙනුවෙන් සුබ පැතීමක් විදියට මෙලින්සාගේ උණුසුම් වැළඳගැනීමක් මට ලැබුණා. 


මෙලින්සා වෙනුවෙන් මට කෙටි නමක් තිබ්බෙ නෑ. මම එයාට කතා කළේම මෙලින්සා කියල විතරයි. අපි දෙන්නා එකට පන්ති ගියා, එකට කෑම හදලා අපේ ගෙදර අයට දුන්නා, එකට පාඩම් කළා. ඒ වෙනකොට මගෙ ජීවිතේ පහසුම ජීවියා වුණේ මෙලින්සා. මට උයන්නත්, සින්දු කියන්නත් පුළුවං කියල අපි හොයාගත්තෙ ඒ කාලෙ. මම ආදරේ ගැන සින්දුවක් කිව්ව වෙලේ අපේ තාත්තා සතුටට මාව බදාගන්නකොට මෙලින්සාගේ ඇස් වල කඳුළුත් තිබුණා. 


ඒ කාලෙම තමා මගෙ හිතට හොරෙන් හොරෙන් වෙන කෙනෙක් ආවෙ. ඒ ඩේව්. ඩේව් කිව්වට එයාගෙ ඇත්ත නම ශාක්‍ය අභිමන්. ඉංග්‍රීසි නාට්‍යයක ශාක්‍ය රඟපාපු චරිතෙ තමා ඩේව්. ඩේව් කියන්නෙ ඉස්කෝලෙ කඩවසම්ම පිරිමියා. ඩේව්ගෙ ඇස් කාන්දම් වගේ. ඩේව්ට ක්‍රෂ් වුණ කෙල්ලො ඒ පැත්තෙ පඳුරකට පයින් ගැහුවත් විසිවෙනව කියල තමා කට්ටිය කිව්වෙ. ඩේව් ඒ හැමෝටම දක්වන්නෙ උදාසීන ප්‍රතිචාරයක්. 


මං වගේ දුඹුරු පාට එක්ක තැනින් තැන පාට පාට හමක් තියෙන ගෑණු ළමයෙක්ට ඩේව් හීනයක්ම විතරයි. ඒ නිසා මෙලින්සාගෙනුත් ඒ හැඟීම හංගගන්න මම උත්සාහ කළා.


"අපි ඔයාගෙ කොණ්ඩෙට සාත්තු කරන්නෝනෙ නිපූ. "


මෙලින්සාගේ ඒ යෝජනාව ආවෙ ඒ කාලෙ. ඊට පස්සෙ මට නාන්න උනෙත් මෙලින්සාගේ කාල සටහනට. සාමාන්‍ය පෙළ ළං වෙනකොට මගෙ කොණ්ඩෙ පොඩ්ඩක් මනුස්ස පාටට තිබුණා. 

ඒ කාලෙම තව දෙයක් වුණා. ඒ තමයි ඩේව්ගෙ ආදර පණිවිඩයක් මෙලින්සා හොයන් ආපු එක. ඩේව් හිටියෙ අපේ පන්තියෙ නෙවේ. අපිට සමාන්තර වෙන පන්තියක. ඒකෙ හිටියෙ ක්‍රීඩා කරන ළමයි. ඩේව් කියන්නෙ නාට්‍යකාරයෙක් විතරක් නෙවේ. ඩේව් කියන්නෙ චෙස් වගේම වොලිබෝල් චැම්පියන් කෙනෙක්. ස්පෝට්මීට් කාලෙට නං ඩේව් ක්‍රිකට් ටීම් එකටත් ගියා. 

මෙලින්සා ගැන ඩේව්ගෙ කැමැත්ත කාටවත් පුදුමයක් උනේ නෑ. ඩේව්ට ගැලපෙන්නෙම මෙලින්සා කියලා පැහැදිලිවම ඕනෙ කෙනෙක් කිව්වා.


මගේ හදවතේ එක පැත්තක් දෙදුරුවා. මෙලින්සා හා කිව්වොත් හිමින් මෙලින්සාගෙන් අයින් වෙන්න ඕනෙ බවත් එතකොට දුක අඩු වෙන්න පුලුවන් කියලත් මම තේරුම් ගත්තා. 


ඒත් මෙලින්සාගෙන් ලැබුණෙ වෙනම ප්‍රතිචාරයක්. ඩේව් කැමති මෙලින්සාට. ඒත් මෙලින්සා... 

මෙලින්සා කිව්වෙ එයා වෙන කෙනෙක්ට කැමතියි කියලයි. 


"ඒ ආදරේට මාස ගාණක් නිපූ. කවදම හරි කියන්නං ඔයාට මං එයා ගැන. එයා හරි ශෝක්"

මෙලින්සා කිව්වෙ මගෙ කම්මුලකට තට්ටුවක් දාලා. 


ඩේව් සාමාන්‍ය පෙළ ඉවර වුණ දවසෙ කෙලින්ම අපි දෙන්නා ගාවට ආවා.අපි දෙන්නා විතරක් නෙවෙයි, වටේ ඔක්කොම ඒ දිහා බලන් හිටියා. 

"මෙලී, මට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද?

"නෝට් සෙවන් සෙවන්....."

මෙලින්සා එයාගේ නම්බරේ කිව්වා. ඩේව් උනත් ඒ වෙලේ තිගැස්සුනේ ඒ හඬේ තිබ්බ ඍජු බවට. ඩේව් නිරුත්තර වෙලා නම්බරේ මතක තියන් යනකොට මෙලින්සා මගේ අතින් අල්ලගත්තා. 


"නිපූ, ඔයාගෙ අත සීතල වෙලා"


මෙලින්සා කිව්වෙ මගෙ කොණ්ඩෙනුත් අදින ගමන්.

"අපි දෙන්නා බීච් ගිහින් එමු".


බීච් ගිහින් එනකනුත්  මගෙ ඔලුවෙ තිබ්බෙ ඒ සිද්ධිය. මම හිතන්නෙ මෙලින්සාට ඒක තේරුණා. 


"ඩේව් කැමති ඇති මට. ඒත් මම කැමති වෙන කෙනෙක්ට නිපූ"

මෙලින්සා කිව්වෙ මගෙ මූණටම එබිලා. හරියට මගෙ මොළේටම ඒක දාන්න වගේ. මම ඔලුව වැනුවා. 


අපි උසස් පෙළ කරන දවස් වල දි මම බයෝ කරන්න තීරණේ කළා. මෙලින්සාත් බයෝම කළේ එයාගෙ ගෙදර අය පුදුම වෙනකොට. 


"අපි හිතුවෙ එයා මැත්ස් කරයි කියල"


එයාලා කිව්වෙ එහෙම. මෙලින්සයි මමයි පාඩම් කළා. අපි දෙන්නා අනිවාරෙන්ම මෙඩිසින් යයි කියලා හැමෝම කතා වුණා. 

හැම දේම පුදුම සහගත වුණේ උසස් පෙළ අවසන් වුණ දවසෙ. 

එදත් ඩේව් අපි දෙන්නා ඉස්සරහට ආවා. 


"නිපූපූ"


ඩේව්ගෙ කටහඬ ඇහුවෙ හීනෙන් වගේ. 

මම ඩේව් දිහා බැලුවෙ මෙලින්සාගේ අත තද කරගෙන.මගෙ අත සීතල වෙලා තියෙන්න ඇති. 


"මෙලීගෙ අත අතෑරලා එනවද පොඩ්ඩක්. මට කතා කරන්න ඕනෙ"


ඩේව් එහෙම කිව්වම මම මෙලින්සා දිහා බැලුවා. එයා මාව හිනා වෙලා ඩේව් දිහාට යැව්වා. 


"මම ඔයාට කැමතියි. මම දන්නව ඔයා මට කැමතියි කියලා. මෙලී ගැන වද වෙන්නෙපා. එයා දන්නව මම ඔයාට කැමති කියල"


ඩේව් මගෙ ඇස් දෙක දිහා බලං කියාගෙන ගියේ මගෙ ඇස් අස්සෙ මොනාද හොයන ගමන්. මම එවෙලෙත් මෙලින්සා දිහා  බැලුවෙ මුකුත් හිතාගන්න බැරුව.


"ගුඩ් ලක් නිපූ!! ඩේව් ඊස් ද බෙස්ට් වන් ෆො යූ!"


මෙලින්සා කිව්වෙ ඇහැක් ගහන ගමන්. 

මගෙයි ඩේව්ගෙයි ආදර සම්බන්දෙ සාමකාමීව ගලාගෙන ගියා. ඩේව් හරි උණුසුම් මනුස්ස ප්‍රාණියෙක්. මෙලින්සා හැම තිස්සෙම කිව්වෙ අපි දෙන්නා තරම් කැපෙන ජෝඩුවක් ලෝකෙම නෑ කියලයි. එයා එහෙම කියන වෙලේට ඩේව් අහල පහල හිටියොත් මට නළලට උණුසුම් හාදුවක් ලැබෙනවා. 


අවුරුදු ගානකට පස්සේ අපි විවාහ වෙන්න තීරණය කරනකොට මෙලින්සා හිටියේ කැනඩා වල. ඩේව් එක්ක ඉන්නකොට මෙලින්සාගේ අඩුව මට දැනුනෙම නැති තරම්. ඒත් මෙලින්සා එක්ක කතා කරන එක මගේ දිනපතා අංගයක් වෙලා තිබුණා. 


ඉතින් අපි බැන්දා. එදා මට දුකම හිතුණු කාරණේ තමයි මෙලින්සා ආපු නැති එක. මෙලින්සාට එන්න බැරු වුනේ එයාගේ එක්සෑම් එකක් හින්දා කියලයි කිව්වේ. 

අපි දෙන්නා මධුසමයට ගියේ තායිලන්තෙට. 

උණුසුම් හාදු වර්ෂාවක් මැද්දෙන් අපි අපේ වෙනකොට මට නින්ද ගියේ ඩේව්ගෙ පපුව උඩ. 


එදා එහෙට වැස්ස. එදා වගේම වැස්ස. මොකක් හරි දේකට ඇහැරුණු මට ඇහුණෙ ඩේව්ගෙ දුරකතනයට එන කෙටි පණිවිඩයක සද්දෙ. 

"ඩේව් මට මේක දරාගන්න බෑ. එයා දැන් ඔයාගෙ පපුව උඩ ඇති"


නිකමට වගේ දුරකතන තිරය බලපු මාව ඒක දකිනකොට වෙව්ලන්න ගන්නකොට ඉබේම මෙලින්සාගේ නමට වෙන් වුණු තිරය විවර වුණා. 


"මෙලී, ඔයාට කල් තියෙනව තවම. ඔයාට ඕනෙ නං මම මේ දැන් උනත් නිපූ බඳින එක නවත්වනවා. එයාට එක පාරක් කියල බලමු"


- " නෑ ඩේව්. She deserves your  love. මට ඕනෙ මේ විදියටම වැරදිකාරියක් නොවී ඉන්න. මම දරාගන්නම්. ඔයාලා සතුටින් ඉන්න ඕනෙ. ඔයා ආදරෙයි නේද එයාට?"


"ඔව්. පස්සෙ එන්න අපිව බලන්න"


ඊට පැය ගානකට පස්සෙ තමයි ඒ කෙටි පණිවිඩය ඇවිත් තිබ්බේ. 


මෙලින්සා!!

මම හිටියෙ අකුණක් ගහල වගේ කම්පනේකින්. මට ඕනෙ උනේ අපි හිටපු හොටෙල් එකේ උඩ තට්ටුවෙන් පනින්න. මම ඒක නොකර උදේ වෙනකං ම අඬ අඬ හිටියේ තරහ කලකිරීම ඔක්කොම එක්ක. අන්තිමට පාන්දර වෙනකොට ආයෙම ලංකාවට යන්න දාගන්න පුළුවන් උනු මම , ඩේව් ඇහැරෙනකොට හිටියේ මගේ ඇඳුම් ඔක්කොම  අසුරගෙන.


"මම යනව. මාස හයෙන් ඩිවෝස් වෙමු. ඔයා මෙලින්සා බැඳල සතුටින් ඉන්න. සමාවෙන්න මට එහෙම කරන්න ඕනෙ උනේ නෑ හිතලා!"


ඩේව් ඒකෙන් එකපාරම පුදුම වුණා. ඩේව් ඉස්සරහම එයාගෙ දුරකතනය ඇඳට දමල ගහපු මම කළේ පිටවුණ එක. ඩේව් ඇඳන් හිටපු තුවාය පිටින්ම මගෙ පස්සෙන් ආවත් එයාට මාව නවත්වන්න බැරි වුණා. 


ලංකාවට ආයෙම ගොඩ බහිනකොට මගෙ ඔලුව පිස්සන් කොටුවක් වෙලා තිබුණෙ. ඩේව්ගෙනුත් එයාගෙ යාලුවන්ගෙනුත් නොනවත්වා ඇමතුම් එන හින්දම මම දුරකතනය ක්‍රියා විරහිත කළා. මම ගෙදරට එනකොට හැම දේම ඉවර වෙලා තිබුණා. 


"මෙලින්සා නැති වෙලා!'


මට ඒක කිව්වෙ අම්මා..


"මොකක්?"


"මෙලින්සා අත ක/පාගෙන මැ| රිලා. ඔයා ශාක්‍ය පුතා බැඳපු එක නිසා කියලයි කියන්නෙ"


අම්මා කිව්වෙ හීන් හඬින්. මෙලින්සා ගේ අවසන් කටයුතු සිද්ධ වුණේ කැනඩාවෙ. ඩේව් ඒකට ගියා කියල මුහුණු පොතේ පොදු මිතුරෙක්ගෙ ගිණුමක මම දැක්කේ අහම්බෙන්. 


මෙලින්සා වෙනුවෙන්  එයාගෙ දෙමව්පියො සොහොනක් මෙහෙ හැදුවා. හැම අවුරුද්දෙම අපි හම්බුණ දවසෙදි ඒකට යන්න මම පුරුදු වුණා. ලස්සන ඇස් තියෙන ගෑණු ලමය තව දුරටත් මං එක්ක නෑ කියන එක මට දරාගන්න පුළුවන් උනේ නෑ. 

ඇත්තටම මට දුක හිතුනේ මෙලින්සා නිසා මිසක් ඩේව් නිසා නෙවෙයි. මෙලින්සා මගේ ජීවිතේ සුවපහසුම මනුස්සයා වෙලා හිටියේ. එයා ඇයි මට එහෙම කළේ? එයා ඇයි මාව නරකයෙක් කළේ? 

එයා ඕනෙ කිව්ව නං මම ඩේව් ව දෙනවනෙ!


මම හිතුවෙ එහෙම. ඒ අවුරුදු ගාන පුරාවටම ඩේව් අපේ ගෙදර එක්කත් කතා කළා. දික්කසාදය ප්‍රතික්ෂේප කළ ඩේව් අවුරුදු තුනකට පස්සෙ මම ඉස්සරහට ආවා. ඒකත් ඒ වගේ වැස්ස දවසක්. මෙලින්සගේ  ලස්සනම_සොහොන්_කොත ගාවදි අපි දෙන්නගෙ ඇස් මුණ ගැහුණා. 


"බබා අපි කතා කරන්නෝනෙ"

මම සුසුමක් හෙළුවා. 


"කියල යන්න"


ඩේව් මං ගාවට ළං වුණා. මෙලින්සගේ සොහොන්කොතට අත තිබ්බා. 

"එදා උනේ මොකක්ද ?"


එයාගෙ උණුසුම් ස්වරෙන් මගෙන් එහෙම අහපු ඩේව් එයාගෙ දුරකතනෙ අරගෙන පහළටම ගිය මෙලින්සාගේ කෙටි පණිවුඩ තිරය මට අරන් දුන්නා. 

මගෙ ඇස් ඒ මත දිව්වා. මාව ගැස්සිලා ගියා. 

ඇත්ත! එයා මැ/රු/ණෙ මං නිසා!


"මම ඒ කාලෙ ආදරේ කළේ මෙලින්සාට. ඔයා ආදරේ කළේ මට. එතකොට මෙලින්සා!"


ඩේව් මං දිහා බලන් හිටියා. 


"එයා බලන් හිටියා බබා. ඒත් ඒක හරියන්නෙ නෑ කියල එයා තේරුම් ගත්තා. අන්තිමට එයාට දරාගන්න බැරි වුණා. ඔයාව මට දුන්නත්, ඒක ලේසි වුණේ නෑ. එයා මගෙන් ඉල්ලුවෙ එකම එක දෙයයි. ඒ ඔයාව සතුටින් තියන්න කියන එකයි"


දරාගන්න බැරි තැන මම මෙලින්සාගේ සොහොන් කොත බදා ගත්තා. 


Malshi N Fernando


News Paper Article about me

 


Thursday, 28 November 2024

ආලෝක වර්ෂ

 




ආලෝක වර්ෂ


"මැරෙන්න මොහොතක් තියල හරි මම උඹව මරනව තිරිසණා "

විසි හත් හැවිරිදි යුවතිය නැවතත් සිහින වලට ඇවිදින් ඇත. ජනිත් ගේ මතකයන් අවුරුදු තිහක අතීතයකට දිව යයි. ඒ අසරණ දෑස් තවමත් ඔහුගේ රාත්‍රී සිහින වල හඬයි. සිරගෙයෙහි සිටින විටද, දැන් ඉන් පිටත පැමිනි විටද  ඒ මතක ඔහු සිත පාරවයි.

***

මධුෂිකා තමා අත ඇති ලිපිය දෙස බැලුවාය. එහි ජීවිතය ගැන සටහනක් වෙයි. එක්කෝ සැත්කම කළ යුතුය, නො එසේ නම්  අවසන් කැමැත්ත ලිවිය යුතුය. මෑතක සිට අශාන් ඇයව මග හරියි.එය සිතට මහ බරකි.
ඇයට ලොකු පුතා සහ පොඩි පුතා සිහි වෙයි.
ඕ ලොකු පුතාට ප්‍රේම කළාය. එහෙත් ඔහුගේ පියාට ප්‍රේම නොකළාය. පොඩි පුතාට ද ප්‍රේම කළාය. ඊටත් වැඩියෙන් පොඩි පුතාගේ පියාට ප්‍රේම කළාය. අශාන් පුතුන් දෙදෙනාගේම මවට ප්‍රේමය පෑවේය. ඔහුගේ විසල් හදවත ඇගේ ජීවිතයට ජීවය දී තිබිණි.

එබැවින් ඈ මෑතක සිට අශාන්ගේ නොසලකා හැරිම් වලට සිත් රිදවා ගත්තාය.
පර්‍යේෂණ නිබන්ධන ලියනා විට ලැබෙනා තේ කෝප්පය නැති වෙත්දී, දවල්ට ඉවූ කෑම රසයැයි නොකියද්දී මෙන්ම නළලට රාත්‍රියේ දෙන හාදුව ඔහුට අමතක වෙත් දී ඕ සැලුණාය.

එහෙත් එසේ දුක සිතීම රෝගයේ  ලක්ෂණයක් යැයි සිත හදාගත්තාය.

ඉස්සර කාලයේ ඔහු නිතරම තමා අසල සිට කියවයි. ඒ බොහෝ දේ වල තිබුණේ තාරකා ය. ඔරායන් ගේ ආදර කතාවක් ඔහු පවසන්නේ ආලෝක වර්ෂ දහස් ගණනක් මෙපිටින් සිටය.
කුමක්දෝ ජංගම දුරකතන යෙදුමකින්  ඇයටද සජීවී ව ඒ තරුරටා පෙන්වන ඔහු, ඇයට තරුරටා පිළිබඳ නිබන්ධනයක් ලියන්නට යැයි යෝජනා කළේ ය. ඈ එය ලියන්නට පටන් ගෙන තිබුණාය.

එහෙත් අතරමැද නතර වූ නිබන්ධනයේ දූවිලි බැඳෙන්නට ආසන්නව තිබුණේය. එය ඇවිස්සීමට ඈ අකමැති වූයේ සෙම්ප්‍රතිශ්‍යාව සෑදේ යැයි සිතුණු බැවිණි.එය ඇගේ කාර්‍යාලයේ තබා තිබිණි.

මධුෂිකා සුසුමක් හෙළුවාය. ජීවිතයෙන් වසර පනස් හතක් ගෙවුණු තැනද, ඈ තරුණියකගේ පෙනුමෙන් යුතු වූවාය. එය හට අශාන් පෙම් කළ නිසාම ඇය පෙනුම ගැන තුටු වූවාය.

කඳුලක් ඉබේ ගිලිහෙන විට මෝටර් රථයෙන් බැසි ඕ නිස්කලංක කුඩා අවන්හලට ගොඩ වූවාය.

කෝපි කෝප්පය ලැබුණු පසු එහි තිත්ත රසය සෙමෙන් සෙමෙන් රසවිඳිමින් සිටි ඈ අසල ලෙදර් සපත්තු දෙකක් නැවතිනි. ඕ හිස ඔසවා බැලුවාය.

"මධුෂිකා !"

ඔහු බලාපොරොත්තු වූයේ ඇගේ සැලීමකි. එහෙත් ඒ සැලීම බලාපොරොත්තු වූ වෙලාව මෙන් දශම බින්දුවයි බින්දුවයි එකක කාලයක් හෝ නොපැවතීම නිසාවෙන් ඔහු සැලුනේය.

ගත වූ විනාඩි දෙකක කාලය නිසාවෙන් ඔහුගේ හිත ඔත්පල ව තිබිණි.

මධුෂිකා නිවසට ගොඩ වන විටම ඇගේ කණට දැනුනේ දරුණු සංවේදනයකි. ඒ අශාන්ගේ අතක් බව ඇයට නොවැටහුණා නොවේ. එහෙත් ඇය නැවත ඔහු දෙස බලා අසීරුවෙන් දෑස් විවර කර ගත්තාය.

"එක එකා එක්ක තැනින් තැන  ගිහින් එන්ඩ මෙතන කෝලං මඩුවක්ද උඹට මධුෂිකා ?"

ඒ හඬ ප්‍රේමාන්විත නැත. බෑගයේ ඇති ලියවිල්ල වැටෙන්නට නොදී ඈ අපහසුවෙන් සාලයේ පුටුවක් මත අසුන් ගත්තාය. ලියන අවස්ථා වලදී නොදැනෙන අමාරුකම් ඇයට දැනෙයි.එය ලෙඩේ හැටියකි.

එහෙත් සුළු මොහොතකින් ඇය නැවත බිමට ඇද වැටුණාය. ලොකු පුතා ද අශාන් අසළ සිටිනු දුටු ඈ අසරණ බැල්මක් හෙලුවාය.

"මම හිතුවෙ නෑ අම්මෙ ඔයා මෙහෙම ගෑනියෙක් කියල. අම්ම කියන නාමෙටත් අගෞරවයක් ඔයා නං."

මධුෂිකා ඒ කියූ හරුපය කුමක්දැයි අසන්නට මෙන් අශාන් දෙස බැලුවාය

"නදීමා කෝල් කරල කියද්දි මම හිතුවෙ ගෑණි ඊරිසියාවට කියනව කියල. අන්තිමට බලනකොට ඒක බොරුවක් නෙවේ. මේ ගෑණි දැං ඉස්සර හොරෙන් නටපුව එලිපිටම නටනව. "

අශාන්ගේ කෝපයට ඇතුළතින් වේදනාව ඇති වග වටහාගත් මධුෂිකා වදන් ඇමිණුවාය

"මම මුකුත් කලේ නෑ ශාන්.නදී මගෙන් පළි ගන්නව මම හොයා ගත්ත නිසා "

ඇගේ හඬේ වූ අසනීප ගතිය අශාන් ට හෝ ලොකු පුතාට නොදැනුනේ කෝපය නිසාවෙනි.

"ඔයා මුකුත් නොකළා නං මමයි පොඩියි තාත්තල දෙන්නෙක්ගෙ වෙන්නෙත් නෑ. මාව ජාතක කරපු මිනිහ එක්ක ඔයා අද වෙනකං හොරෙං මගුල් නටන්නෙත් නෑනෙ නේද අම්මෙ ? නදීමා ඇන්ටි මොනාට ඊරිසිය කරන්නද ඔයාට ?"

ලොකු පුතාගේ වදන් හී සැර මෙන් දැනුනු කල ඈ පොඩි පුතා ව මතක් කළාය. ඔහු විශ්ව විද්‍යාලයේය.

" පලයං මෙහෙං ගිහිං ඌ එක්කම පවුල් කාපං. මගෙ දෑහැට නොපෙනී ම පලයං මධුෂිකා ආයෙ නොකිව්ව කියන්නෙපා. මගෙ දරුවො මට වැඩි නෑ යකෝ උඹ ට මාව මදි උනාට."

අශාන් ගේ කෝපය සෝඩා බෝතලයක් නොවන වග මධුෂිකා දැන සිටියාය. ඔහු නිකරුණේ කේන්ති නොගන්නා මිනිසෙකි.

මධුෂිකාට ප්‍රති පිළිතුරු සපයන්නට අවස්ථාවක් නොවන වග පිය පුතු දෙපළගේ මුහුණින් සන් වන විට , ඈ මරුටි රථයේ ම නැගී පිට වූවාය.

යන්නට ගමනාන්තයක් නොතිබුණද ඈ අම්මා ගේ සොහොන අභියසට ගියාය.අනතුරුව මුහුදු වෙරළට ගිය ඈ ගැටලුවේ පැටලිලි විසඳාගන්නට තීරණය කළාය.
නදීමා !
ඇයට සරදම් සිනහවක් නැගිණි
සිය තාරකා නිබන්ධනය සොරකම් කර තිබුණේ නදීමා ය. එය හසුවූ මොහොතේ වරද ඇගේ නොවන අයුරින් හැසිරුණ ඇගේ වුවමනාව පැහැදිලිය. දින ගණනාවක් ක්‍රියාත්මක වුණු නදීමාගේ ඉලක්කය සැපිරී තිබිණි. ඊතලය ගොදුරේ හදවත පසාරු කොට ගොස් තිබුණේය.

අශාන් සහ ලොකු පුතා තවමත් ගැහැනුන්ගේ ඊර්ෂ්‍යාව පිළිබඳව නොදන්නා එක ගැන මධුෂිකා කම්පා වූවාය. මන්දයත් ඈ එවැනි ගැහැනියක නොවූ බැවිණි. එවිට වරද තමාගේය. තමා පැහැදිලි චරිතයක් නොවූ වග ඈ දැන හුන්නාය.
කැඩුණු ගැහැනියක වු දා පටන් අශාන් ඈ අසළ රැඳී සිටි නමුත් , ඇයට නම නොදන්නා බියක් තිබිණි. අශාන් වැනි යහපත් මිනිසෙකුට දුකක් දෙන්නට නොහැකි තැන ඇය ඒ බිය සැඟවූවාය.
ජනිත්ගේ රකුසු මුහුණ මැවෙන විට ඇයට ඇය ද අහිමි වූ අයුරු සිහියට නැගෙයි.
කෙසේ නමුත් ජීවිතයට තවත් ඇත්තේ දින කිහිපයක් පමණකි. එබැවින් ලොකු පුතා අශාන්ගේ පස ගැනීම ගැන ඈ සොම්නසින් පසු වූවාය.
ජනිත්ගේ දෑසින් කඳුලක් වැටිණි. ඔහු අශාන් දෙසට පා තැබුවේය. අශාන්ගේ වත කඩදාසියක් මෙන් සුදුමැලිව තිබුණේය. අවසන් වරට ඈ දකින විට ඇගේ වතෙහි අසරණ කඳුලක් වූ නමුත් මේ මොහොතේ එවැන්නක් හෝ නොවිණි.
ඇගේ මහගෙදර අවසන් කටයුතු කරන්නට යැයි ඈ ඉල්ලා තිබුණාය. ඒ සඳහා අක්කාට මුදලක්ද බැර කොට තිබිණි. සිරුර අම්මා හා තාත්තා අසළ භූමදානය කරන්නට ද ඉල්ලා තිබිණි.

ලොකු පුතා හට ඈ යමක් වැඩියෙන් දී තිබුණාය. අශාන් ට හා පොඩි පුතාට සම සමව ඇගේ වත්කම් පැවරී තිබිණි.
අපේක්ෂා රෝහළට ද , අක්කාටද වත්කමෙන් තවත් කොටසක් දී තිබිණි.

අශාන් වූයේ සිතාගත නොහැකි කම්පනයකිනි
ඕ ප්‍රීතිමත් ගැහැනියකව උන්නාය.
එහෙත් නදීමා නම් ඇගේ මිතුරිය නිසාවෙන් ඇගේ සතුටට හේතුව නම නොදන්නා ආගන්තුකයකු සතුව ඇතැයි සැකයක් ඇතිවන්නට ඇරඹි දින කිහිපයෙන් පසුව ඈ ඇදී යනු ඔහු පසෙකට වී බලා සිටියේය.

එය ට හේතුව හෘදයේ අසනීපයක් වගද, පොඩි පුතා ගේ උපතෙන් පසුව කඩින් කඩ ඇයට විශාදය තිබූ බවද ඔහුට අළුත් කාරණා වූයේය.
'ස්ට්‍රෙස්' යැයි පවසමින් ඈ බෙහෙත් ගත්තේ එයට විය යුතුයැයි ඔහුගේ සිත අනුමාන කරමින් සිටියේය.

" මම දන්නව මට කවුරුත් සමාව නොදෙන බව. මම අවුරුදු තිහකට පස්සෙ අච්චු ඉවර වෙලා එළියට ආවෙ. මට මධුෂිකා එදා  මුල්ම දවසෙ,මම එයාව විනාස කලාම කිව්ව , එයා මැරෙන්න මොහොතක් හරි තියල මරනව කියල . ඒක එයා කළා."

අශාන්ගේ දෑස් ජනිත් දෙසට යොමු විණි

"අවුරුදු තිහක් ?"

ලොකු පුතාගේ දෑස් විසල් ව තිබිණි. අශාන් නම්  අන්දමන්දව සිටියා පමණි.
පොඩි පුතා කිසිවක් නොදැන, අම්මා අසළ හඬමින් සිටියේය. අම්මාගේ කඳුළු මිමිණුම් ඇසුණු එකම ජීවියා ඔහු වූ බැවින් ඔහුගේ වේදනාව ඔහු හඬමින් පිට කළේය.

"මට පඩිසන් දුන්න පව. එදාට පස්සෙ දවසෙ  මම කුඩු එක්ක මාට්ටු උනා. තිහක් අච්චු "

නදීමා සිරගෙයක් ගැන වදනක් හෝ පැවසුවාදැයි මතකයක් නගා ගන්නට අශාන් උත්සාහ කළේය.
ජනිත් ගැන ද මධුෂිකා ගේ අතීතය ගැනද නදීමා දැන සිටි බව අශාන් නොදැන උන්නේය.

නදීමා ගේ පර්‍යේෂණ නිබන්දනය, එවර අන්තර්ජාතික සම්මානයක් දිනා තිබිණි. එහි වූයේ තරුරටා පිළිබඳවය.

මධුෂිකා ගේ මතකයේ වූ අශාන්, පොඩි පුතා ගෙන ඇවිත් තිබූ ඒ නිබන්ධනය කියවන්නට ගත්තේය.
"ඔරායන්ගේ ප්‍රේම කතාව "
අශාන් ගේ දෑස් විසල් විණි.
හෘදයට රිදුමක් පමණක් දැනෙන විට, එක් රැයෙක ඔරායන්ගේ ප්‍රේම කතාව අසමින් තමාට හාදුවක් දුන් මධුෂිකාව ඔහුට සිහි විය.



 ©Malshi N Fernando 

මෙලින්සා

  මෙලින්සා • ඒක වැස්ස දවසක්. වැස්සට මම ආස නැති හේතු එකයි. ඒක තමා කුඩේ ඉහළගෙන යන්න වෙන එක. කොයි තරං අව්වක් තිබ්බත් කුඩයක් ඉහළගෙන යන්නැති මට, ...