වත්සලාට
කිරිල්ලියක් සේ පියඹන ගුවනේ තටු සලා
මගේ හිත නුඹ හොරා අරන් නේද කළඹලා
ඇස් වැහුවත් මට පේන්නෙ දැන් නුඹම තමා
නියර දිගේ දුවල එන්න හිදිමි මග බලා
පෝයදාට තෙල් මල් ගෙන සුදෙන් සැරසිලා
පිච්ච මලක් වගේ ගතේ සුවඳ විහිඳනා
බෝ මලුවට එලිය ගෙනත් පුරහඳ වැඩලා
මටත් ටිකක් එලිය දෙන්න බැරිද වත්සලා
මල් පිරිච්චි නුඹේ ගවුම දණක් ඔසවලා
වැවට බැහැලා මානෙල් මල් මිටක් ම කඩලා
ඉවුර දිගේ දුවත් ඇවිත් පාරට පැනලා
ගල් ගැහිලා මං හිංදා මදක් නැවතුනා
හරිම ලස්සනයි කිව්වට ලාවට රවලා
ඇස් කොණකින් මදෙස බලා හොරෙන් හිනැහිලා
ආපු වේගෙ බාල කරල ආපහු හැරිලා
යන හැටි මං බලං හිටිය මෙමට ගස්සලා
ආරංචියි වග නුඹ හට විස්සත් පැනලා
තාම නැතිලු කුමාරයෙක් නුඹට ගැලපෙනා
මගේ හිතේ මාළිගයේ රැජිණි නුඹ තමා
මාත් එක්ක කොළඹ යන්න එන්න වත්සලා